Thursday, September 13, 2012

දොස්තර දියමන්තිගෙන් ආඩම්බරකාර තාත්තා ගැන...

මේක ලියල එව්වෙ අපේ පරණ කතෲ දොස්තර දියමන්ති නංගි.කස්ටිය කියවලම බලන්නකො. මුලින්ම ලේන්සුවක් ලෑස්තිකරගත්තනං හරි. කඳුලු පනියිද දන්නෑ.

ආඩම්බරකාර තාත්තා ගැන...

                                                                 අද දවස..... හරිම මහන්සියි....කෙනෙක්ට සතු‍ටු, ඒ වගේම කෙනෙක්ට දුක හිතුන දවසක්.... ඒත් අද කියල දවසක් උදා වුණේ හුඟාක් දෙනෙකුගෙ හොඳට කියල මම හිතනවා......
                                                                 2011/12/25 රෑ 11.30 විතර අපේ exam එකේ results ආවෙ මගේ, අම්මගෙ, තාත්තගෙ ඇස්වල සතු‍ටු කඳුලු ඇතිකරගෙන.... අවුරුදු ගාණක් තිස්සෙ මැරිල නැහිල කට්ට කාලා target එකට ආවම ඇතිවෙන සතුට ඔය කවුරු කවුරුත් දන්නව ඇතිනෙ... අන්න ඒ කියල නිම කරන්න බැරි සතුටින් අපිව මාස 7ක් තිස්සෙ බලාපොරොත්තු ඇති කරල අන්තිමේදි 2012 ජූලි 22 දා කවුදෝ මන්ද 16 දෙනෙකුයි තව ලොකු මොල තියෙන කට්ටියකගෙයි කෙරුවාවක් නිසා අපි හුඟ දෙනෙක් එක පාරටම අතරමං වුණා....වුණු අසාධාරණේ ගැන ලියන්න ගියොත් පොතක් වුණත් ලියන්න පුලුවන්....හ්ම්ම්ම්ම්..... තේරුමක් නැහැ ඉතිං....
                                                                මහමෙරක් තරමට ගොඩගහගෙන හිටපු බලාපොරොත්තු කන්දරාව එක පාරටම බිඳිල යන එක හිතන තරම් දරාගන්න පුලුවන්කමක් නෑ....ඒක අමතක කරල හිත හදා ගන්නත් හිතන තරම් ලේසි නෑ....ඒකනෙ කියන්නෙ...මේ ඇස් සතුටයි දුකයි දෙකේදිම හරිම අකීකරුයි....මට හොඳට මතකයි මං එදා කොයිතරම් ඇඬුවද කියල...මගේ අම්මට, තාත්තට වගේම තමයි ඔයාටත් හොඳට මතක ඇති.... ඇයි දෙයියනේ ඉතිං මං වෙන මොනා කරන්නද..... මං වගේම අය ඕනෙ තරම් ඉන්න ඇති......
                                                               මාව දොස්තර කෙනෙක් කරන හීනෙ කොයි තරම් ලොකුද කියල දන්නෙ මගෙ අම්මයි තාත්තයි.... Primary  එකේදි ඉස්කොලයක් පෙන්න පෙන්න "මං ශිෂ්‍යත්වෙන් මේකටම තමයි එන්නෙ" කියපු මට, ඒ ඉස්කොලෙටම යන්න පුලුවන් වුණා....ඊට පස්සෙ Colombo Medical Faculty එක දකින දකින සැරයක් ගානෙ "මං කවදහරි Doctor කෙනෙක් වෙනවමයි" කියල හිතුව....ඉතිං ඒක පේන දුරට ඇවිත් හැරිල යන්න වෙන දුක කොයිතරම් නම් අමාරුද....
                                                               මං නම් අඬල දුක පිට කලා කියමු.... ඇස් වලින් නොපෙන්නුවට ඔය හිත හැම මොහොතෙම අඬපු බව මං නොදන්නව නෙවෙයි තාත්තෙ....අම්මගෙ කඳුලු දැක්කම මට ඉන්න අමාරුයි.. ඒත් තාත්තෙ ඔයාගෙ අඬන හිත දැක්කම මට ඊටත් වඩා අමාරුයි....හරි නම් මං දුක් වෙන්න ඕනෙ නෑ...මොකද මං ඔයාලට වැ‍රැද්දක් කරල ඔයාලගෙ හිත රිද්දුව නෙවෙයි...ඒත් ඔයාල ඒ වි‍ඳෙවුවෙ මං වෙනුවෙන්...ඒක මට දරාගන්න අමාරුයි...ජීවිතේ කිසිම දේකින් කඩා නොවැ‍ටුණු මගේ තාත්ත ඔහේ බලාගත්තු අත බලාගෙන ඉඳිද්දි මං කොහොම නම් ඉවසන් ඉන්නද.... හැබැයි මට සමාවෙන්න.... ඔයාලගෙ හිත හදල හදල මං හිනාවෙලා ඔයාලවත් හිනස්සවල කාමරේට ඇවිත් තනියෙම ඇඬුව....බොරු කලාට සමාවෙන්න....
                                                              දොස්තර දියමන්ති කියන නමේ දොස්තර කෑල්ල කොයි මොහොතෙ හැලෙයිද කියල මං හරි බයෙන් හිටියෙ....මෙහෙම දුක් වෙවී ඉඳිද්දි, වෙච්ච අසාධාරණයට සටන් කරල හරි මොනාහරි කරන්න අපේ තාත්තයි තව ඒ වගේම අසරණ වුණු තාත්තල කිහිප දෙනෙකුයි එකතු වුණා....මං වගේම අතරමං වෙච්ච ළමයි ටිකක් එකතු වෙලා අපි දැම්ම නඩුවක්....කවදාවත් ගිහින් නැති උසාවිය පැත්තෙ යන්නත් ඒකෙන් පුලුවන් වුණා....ඒකෙන් අලුත් යාලුවො ටිකකුත් set වුණා... මොන නායකත්ව පුහුණුද...අපිට ඒක ඉබේම ලැබුණ මං හිතන්නෙ...පැය ගණන්, මහ දවාලෙ, අවුවෙ කට්ට කාගෙන හැමෝම එකතු වුණෙ මොකක් හරි හොඳක් කරගන්න.... අපේ අය්යල රෑ නිදිමරාගෙන එක එක documents ජාති හදාගෙන මේකට පුදුම විදියට නැහුණ....හුඟ දවසක් මහන්සි වෙලා වැඩ කලා....ඒකෙ ප්‍රතිඵලේ යම් තරමක් දුරට හරි අද ලැබුණා.... :) 
                                                              නඩුව කාලෙදි එක එක්කෙනාගෙ කතා ගැන නම් කියන්න වටිනව.... ලොකු ලොකු අය කිව්වෙ "අසහනයට පත් වෙච්ච ලමයි" කියල...අනෙ අපි අසහනයට නම් ලක් වුණේ නෑ... අසහනය කියන්නෙ ලෙඩක්නෙ.... අපි පත් වුණේ අසාධාරණයට... ඒක එයාලට දැන්වත් තේරෙනවනම් සතු‍ටුයි.... ඒ අතරෙදි හැම නඩු දවසෙම මොකෝ වුණේ, දැන් කොහොමද තත්ත්වෙ වගෙ දේවල් අහල හරි අපිත් එක්ක හිටපු කට්ටියටත් පිං...මේක මෙහෙම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕනෙ, ඕක ඔහොම කරල හරියන්නෙ නෑ වගේ ගෙදර ඉඳන් තාර්කික ප්‍රකාශන ඉදිරිපත් කරපු අයටත් පිං (ලු) "අපෝ මට නම් දැන් එපා වෙලා, දැන්නම් මොනා ලැබුණත් කමක් නෑ...ඔය නඩු දාල මොනා කරන්නද" වගේ දේවල් කියපු අයට ඊටත් වඩා පිං... මොකද ඒව ඇහෙද්දි මට නම් දුක හිතුනෙ නෑ කියන එකාගෙ හොම්බ තලන්න හිතුණ මිසක්... ඒ වචන පවා අපිට ගෙනාවෙ හයියක්...
                                                               දැන් ඉතිං හරිනෙ... නඩු හොඳයි නරකයි කියපු හැමෝම දැන් ගොඩනෙ.....දැන් නම් මගෙ දොස්තර හීනෙ හැබෑ වේවි... ඒත් හුඟක් සතු‍ටු වෙන්නත් බයයි මට...මට විතරක් නෙවි හැමෝටම....ඒත් මම දන්නව මගෙ අම්මයි තාත්තයි ඉන්නෙ හරිම සතුටින් කියල...ඔයත් ඔහෙ ඉඳන් මටත් වඩා සතු‍ටු වෙනව කියලත් මං දන්නව :)
                                                                ඔයා විතරක් නෙවෙයි තමයි තාත්තෙ, හුඟාක් අම්මල තාත්තල මේකට මහන්සි වුණා.... ඒත් මගේ තාත්ත ඔයානෙ... ඉතිං මං මේ කියන්නෙ ඔයාටයි..... හැම මොහොතෙම ඔයා මගෙත් එක්ක හිටිය...මගෙත් එක්ක විතරක් නෙවෙයි අපි හැම ළමයෙක් එක්කම...හුඟාක් මහන්සි වුණා...මටත් වඩා... අපේ හීන හැබෑ කරන්න යන්න පුලුවන් හැම තැනටම ගියා...කතා කරන්න පුලුවන් හැම කෙනා එක්කම කතා කලා....වෙලාවකට කඩා වැටෙද්දි වෙලාවකට පණ ගහල හැම දෙයක්ම පුලුවන් උපරිමෙන්ම කලා....නඩුව දාපු එකෙන් අපේ ranks දෙකට කඩපු එක හරි කලානෙ...එහෙම කලේ නැත්තම් දියමන්තිට දොස්තර තියා දත් දොස්තරයෙක්වත් වෙන්න බැරි වෙනව.....තවත් දුකින් ඉන්න ළමයි හුඟාරියක් ඉන්නව...එයාලගෙ කඳුලු උඩින් අපි කොහොමද campus යන්නෙ.... ඒ හැමෝවම ගොඩගන්න කරන හැම උත්සාහෙකදිම එයාලත් එක්ක ඔයා ඉන්නව කියල මං දන්නව තාත්තෙ... නඩු දවසට වැල නොකැඩී දෙමාපියන්ගෙන් calls එනකොට පොඩ්ඩක්වත් කේන්ති නොගෙන ඒ හමෝටම එකම දේ දහස් වතාවක් කිව්ව.... මේක හොඳ විදියට විසඳුනාට පස්සෙ හැමෝම කතා කරල අපේ තාත්තට පිං කියද්දි ඔයාටත් වැඩියෙන් මං සතු‍ටු උණා තාත්තෙ... ඔයා හැමෝටම ආදර්ශයක්.... අන්තිම වෙනකන් අතෑරියෙ නෑ ඔයා.... මටත් කියන්න තියෙන්නෙ ඔයාට පිං කියල තාත්තෙ.... වැරදි කරපු අයට අපි දඬුවම් දෙන්න ඕනෙ නෑ...එයාල ගැන උඩ ඉන්න දෙයියො බලා ගනීවි......
                                                             තාම හැම දෙයක්ම ඉවර නෑ.... ඉවර වෙනකල් ඔයා හැමෝටම ශක්තියක් වෙනව කියල මං දන්නව..... ඇත්තමයි තාත්තෙ ඔයා හරි හොඳයි... :) ඒ ඇයි...කොයිතරම් හොඳද කියල කියන්න මට තේරෙන්නෙ නෑ..... ඔයා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෙ....හැඟීම් දැනීම් නැති අය මේක කියෙව්වොත් විකාරයක් වගේ පෙනේවි.... කවුරු කොහොම හිතුවත් කමක් නෑ.... මට ඇත්තටම කියන්න තියෙන්නෙ ආඩම්බරකාට තාත්ත වෙන කවුරුත් නෙවෙයි... ඔයා කියලයි මගෙ රත්තරං තාත්තෙ.... ඔයාට බුදුසරණයි!